තම සුදුසුකම්, හැකියා, කුසලතාවන්ට ඔබින, පහසුකම් හා උචිත වැටුපක් සහිත රැකියාවක නිරත වීම, සැමගේම අපේක්ෂාවයි. සිහිනයයි. විශේෂයෙන්, විචලනය වන දේශිය ආර්ථික ප්‍රවාහය තුළ, සාර්ථකව අනාගතයට මුහුණ දිම උදෙසා, මෙම රැකියා සිහිනය යතාර්ථයක් කර ගැනීම, සැමගේ කාලීන අවශ්‍යතාවයකි. මේ සඳහා සිදු කරන රාජ්‍ය මැදිහත්විමක් ලෙස ප්‍රාදේශිය රැකියාපොළ වැඩසටහන් හඳුන්වා දිය හැක.
මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, රැකියා අපේක්ෂිත ප්‍රජාව සඳහා රැකියා අවස්ථා ලබා දීම අරමුණු කර ගනිමින් සංවිධානය කළ, "2025 මිල්ලනිය ප්‍රාදේශිය රැකියාපොල සහ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළුව", 2025.07.31 වන දින දවස පුරා, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ, "ඇරඹුමට ඇරයුමක්" යන තේමාව පෙරදැරි කර ගනිමිනි.
මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී ටී.එස්. දමයන්ති මිය, නිපුණතා සංවර්ධන නිලධාරී කාන්ති පතිරගේ මිය, විදේශ රැකියා සංවර්ධන නිලධාරී ඩිලාන් සුලෝචන මයා හා මිහිරි පතිරගේ යන නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය, රජයේ පුහුණු ආයතන, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන රැසක් සම්බන්ධ විය.
මෙම වැඩසටහන තුළින් රැකියා සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, රැකියා සඳහා බඳවා ගැනීම, පුහුණු පාඨමාලා හඳුන්වා දීම සහ බඳවා ගැනීම, ව්‍යාපාරික උපදේශන සහ වෘත්තිය මාර්ගෝපදේශන වැනි ප්‍රතිලාභී රැසක්, රැකියා අපේක්ෂකයින්ට ලබා ගත හැකි විය.
රැකියා අපේක්ෂක සැමගේ රැකියා සිහිනය සැබෑ වේවායි පතමු!
















