කලුගංතොට මිටියාවතේ රජුන් තනන සොඳුරු තෝතැන්න, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කරමින්, මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් ධූරය හෙබ වූ එරංගි ප්රනාන්දු මැතිනිය, 2024.04.02 දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් ධූරයට පත් වූ වගයි.
කලුතර බාලිකා විද්යාලයේ අධ්යාපනය හදාරා, කැලණි විශ්වවිද්යාලයේ උපාධිධාරීනියක් බවට පත් වූ ඇය, 2012 වර්ෂයේ ශ්රී ලංකා පරිපාලන සේවයට එක් වී විදුලිබල අමාත්යාංශයේ සහකාර ලේකම් ධුරය, වලල්ලාවිට සහකාර ප්රාදේශීය ලේකම් ධුරය, රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ දීප ව්යාප්ත සේවා අංශයේ සහකාර අධ්යක්ෂ ධුරය, විශ්රාම අංශයේ සහකාර ලේකම් ධුරය, ගණකාධිකරණ සේවා අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ධුරය, ශ්රී ලංකා පරිපාලන සේවා අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ධුරය හොබවමින් පරිපාලන ක්ෂෙත්රයේ දැනුමින් හා අත්දැකීමෙන් පෝෂණය විය. එම අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ධුරය හොබවමින් සිටින අතරතුර ජපන් ජාත්යන්තර විශ්වවිද්යාලයේ උසස් අධ්යාපන කටයුතු සඳහා යොමු වූ ඇය, එම කටයුතු සාර්ථක ව අවසන් කර, නැවත ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු 2023.07.31 දින මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් ධුරයට පත් විය.
එතැන් පටන් ප්රාදේශීය ලේකම්වරුන්ට ශක්තියක් වෙමින්, තම ප්රාරම්භක නුවණ මෙහෙයවා කාර්යාලය තුළින් කාර්යක්ෂම හා සඵලදායී මෙහෙවරක් ජනතාව වෙත ලබා දීමට කැපවූ ඇය, අපි අපිම වෙමු, පැඳුර, MILART 2024 වැනි නවමු සංකල්පීය ව්යාපෘති නිර්මාණය කරමින්, පරිවර්තන නායකත්වයක් විදහා දැක්විය.
2024.04.02 වන දින ඇය මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් ධූරයට සමුදෙමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙහිම නව ප්රාදේශීය ලේකම් ධූරයට පත් වන්නේ, තම වෘත්තීය ජීවිතයෙහි නවමු පිටුවක් පෙරලමිනි. මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, ලබුගම සිරි ධම්මරක්ඛිතාරාම විහාරාධිපති, ශාස්ත්රපති මොල්ලිගොඩ අරියරතන ස්වාමීන් වහන්සේගේ සහ ගරු ලේඛකාධිකාරි, අරකාගොඩ ලංකාතිලක විහාරාධිපති, ගෞරව ශාස්ත්රවේදී කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේගේ පිරිත් දේශනාවන් මධ්යයේ, නව තනතුරෙහි වැඩ බාරගත් ඇයට ශක්තියක් වෙමින් ඇයගේ දෙමව්පියන්, සැමියා, පුතනුවන්, බේරුවල ප්රාදේශිය ලේකම් රංජන් පී. පෙරේරා මැතිතුමා, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන් සහ එතුමිය සමඟ පෙර රාජකාරී ස්ථානවල සේවය කළ නිලධාරීන් රැසක් එම අවස්ථාවට සම්බන්ධ වූහ.
එරංගී මැතිනියනි සුබ පතමි ආදරෙන්!
අංකුරක් විලසකින් මිහිමතම ඉපදී
ගුණ නුවණ වඩවමින් අව් වැසි ද හුරුවී
අද මහා රුකක් ලෙස තුරු අතර රජවී
ලියන් අභිසෙස් කෙරූ ඇය පිනැති ලියකී
සඳ කිඳුරු වත කමල මලක රූ වරුණ
සිනාවද තෙපුල් බස තේජසින් දිලුන
කුමරියක විලසකින් ලත් දැනුම පිරුන
සිහසුනක වැඩ හිඳින නුඹයි අද රැජිණ
දන කදුළුවැල් සලති සොයා පිළිසරණ
ඔවුන් දුක් නිවාලන දම් බුදුන් දෙසන
ඒ මෙහෙය දිවිය කර නුඹ පෙරුම් පුරන
සදා ජයටැඹ දිනනු දරා ප්රාලේ ඔටුන
අපේ ආදරණීය පොඩි මැඩම්ගේ ප්රාදේශීය ලේකම් සම්ප්රාප්තිය වෙනුවෙන් 2024.04.02 දින සුබපැතුම් එක්කරමු මිල්ලනිය අපි ආදරෙන්!




වර්ණවත් ලෝකය මැද ඇතමෙකු අඳුර පතද්දී, ලොවම අඳුරු ඔවුහු වර්ණවත් ලෝකයක් මවති. දෑස් පෙනෙනා ඇතමෙකු අකුරු මග හැර යද්දී, දෑස් නොපෙනෙන ඔවුහු ඇඟිලිතුඩගින් අකුරු සොයති.
තිත් රටා ඉරි අතර ඇඟිලිතුඩු ඇස් අරින, දෑස් නොපෙනන පුංචි දරුපැටවුන්ගේ අධ්යාපන කටයුතු ඔප් නැංවීමට පිටුවහලක් වීම වෙනුවෙන්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන "දෙනෙතට සවියක්" ව්යාපෘතියේ සමාරම්භය, 2024.01.10 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී සාර්ථකව දියත් කරනු ලැබුවේ සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙනි.
ප්රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මිය ඇතුළු සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ සහ ගණකාධිකාරි කසුරි ගයන්තිකා මහත්මියගේ උපදෙස් මත, පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් සංවිධානය කරනු ලබන මෙම ව්යාපෘතියේ දී, දෑස් නොපෙනෙන දරුවන්ගේ අධ්යාපන කටයුතුවල දී බ්රෙල් ක්රමය සඳහා අවැසි පොත් අවශ්යතා වෙනුවෙන්, ප්රදේශයේ නිවාසවලින් භාවිතයෙන් ඉවත් කරනු ලබන CR පොත් එකතු කර පරිත්යාග කිරීමට නියමිතය. එහි සමාරම්භය ලෙස මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් එකතු කරන ලද CR පොත් මේ වැඩසටහන වෙනුවෙන් සහකාර ප්රාදේශීය ලේකම්තුමිය වෙත භාර දීම මෙම වැඩසටහනේ දී සිදු විය. මෙම ව්යාපෘතිය සඳහා ප්රදේශයේ පාසල් සම්බන්ධ කර ගැනීම ආර්ථික සංවර්ධන නිලධාරීන් මහත්ම මහත්මීන් හරහා ඉදිරියේ දී සිදු වනු ඇත.
දෑස් නොපෙනෙන පුංචි දරුපැටවුන්ගේ දෙනෙතට සවියක් වන්නට පරිත්යාගශීලී ඔබත් කැමති නම් ඔබ නිවසේ භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන CR පොත් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අප වෙත ගෙනවිත් භාර දෙන මෙන් කාරුණිකව ආරාධනා කරන්නෙමු!



ශ්රී ලංකාව තුළ පසුගිය කාලසීමාව තුළ ඇති වූ ආර්ථික පසුබෑම හමුවේ වුව ද, ජනතාවගේ අභිලාෂයන් ඉටු කරමින් රාජ්ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රාජ්ය නිලධාරීන් ලබා දුන් දායකත්වය ප්රශංසනීය වේ. එහිදී පසුගිය වසර පුරාවට රජයේ ක්රියාමාර්ග සාර්ථකව දියත් කළ රජයේ නිලධාරීන්, උදා වූ 2024 නව වසරේ ද රජයේ ප්රතිපත්ති ක්රියාදාමයන් හා ඒකාත්මික වෙමින් 2024.01.01 වන සඳුදා දින නව වසරේ රාජකාරි ආරම්භය සිදු කරන ලදී.
ඒ හා සබැඳී රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවයන් 2024.01.01 වන දින උදෑසන කාලයේ දී රාජ්ය ආයතන ආශ්රිතව සංවිධානය කර තිබූ අතර බිම් මට්ටමේ ජනතාවගේ සමීපතම රාජ්ය ආයතනයක් ලෙස මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය ද රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය චාම් අයුරින් කාර්යාල පරිශ්රයේ දී පවත්වන්නට යෙදුනි. ආර්ථික සංවර්ධන නිලධාරී ප්රසාදිනී මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන, රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 25/2023 හි උපදෙස් මාලාව අනුව පෙළගස්වා තිබූ අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මිය විසින් ජාතික ධජය ඔසවන ලදී. අනතුරුව සියලු නිලධාරීන් විසින් අභිමානවත් ශ්රී ලංකා ජාතික ගීය ගායනා කරනු ලැබීය.
පසුව උත්සවයේ පළමු අදියර සඳහා නිලධාරීන් කාර්යාලයීය පිළිගැනීම් පරිශ්රය වෙත එක්රැස් විය. ගරුතර ස්වාමීන් වහන්සේලා විසින් තුණුරුවන්ගේ ආශිර්වාදය පතා පිරිස පංචශීලයෙහි පිහිටවනු ලැබූ අතර උදා වූ වසර වෙනුවෙන් සුබ ප්රාර්ථනා එක් කරමින් ද ධර්මානුකූල උපදේශනයන් ලබා දෙමින් ද කෙටි අනුශාසනාවක් ඉදිරිපත් කරන ලදී. ඉන්පසු නව වසර සෞභාග්යමත් වසරක් වේවායි ප්රාර්ථනා කරමින්, ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනා මධ්යයේ කිරි ඉතිර වීම සිදු කෙරුණි.
මීලඟට එළඹියේ උත්සවයේ දෙවන අදියරයි. ඒ සඳහා කාර්යාලයීය ශ්රවණාගාරය වෙත පැමිණි නිලධාරීන් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හා මිය ගිය කාර්යාලයීය නිලධාරීන් ස්මරණය වෙනුවෙන් විනාඩි 02 ක නිශ්ෂබ්දතාවක් පළ කළහ. අනතුරුව තම දකුණත ඉදිරියට ඔසවාගත් නිලධාරීන්, ග්රාම නිලධාරී දිමුතු මහතා විසින් සභාගත කළ 2024 රාජ්ය නිලධාරී ප්රතිඥාව හඬ නගා ප්රකාශ කරමින්, 2024 වර්ෂයේ රජ්ය ප්රතිපත්ති හා අරමුණු ක්රියාත්මක කිරීමට තමා වෙත පැවරෙන කාර්යභාරය කාර්යක්ෂමව හා අවංකව සිදු කිරීම උදෙසා ප්රතිඥා දෙනු ලැබීය. පසුව වත්මන් අභියෝග ජයගැන්ම සඳහා රජය දියත් කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳවත්, පුද්ගල අභිප්රේරණය පිළිබඳවත් සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මිය හා සංවර්ධන නිලධාරී චතුර්ධ ඉසාරංග මහතා විසින් කෙටි දේශනයන් පවත්වන ලදී.
උත්සවයට සමගාමීව කාර්යාල පරිශ්රය තුළ රුක් රෝපණයක් ද සංවිධානය කර තිබූ අතර සහකාර ප්රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමිය හා සැලසුම් අධ්යක්ෂතුමන් ඇතුළු මාණ්ඩලික හා අනෙක් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඖෂධීය නෙල්ලි පැලයක් රෝපණය කරන ලදී.
උදා වූ නව වසර ඔබටත් ඔබේ නිවැසියන්ටත් සෞභාග්යමත් නීරෝගිමත් නව වසරක් වේවා!


ප්රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ග්රාම නිලධාරීන්ගේ, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්ගේ කථික, නිවේදක, ඉදිරිපත් වීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන "අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ හත්වන දිගහැරුම 2024.01.03 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
බටගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී කේ. මොනිකා මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනෙහි දී විදේශ සේවා සංවර්ධන නිලධාරී ටී. චම්පිකා මිය විසින් තම විෂය පථය පිළිබඳවත්, දෙල්ගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී කුමුදුනී දීපිකා මහත්මිය විසින් දෙල්ගොඩ ග්රාම නිලධාරී වසම පිළිබඳවත් දේශනයන් ඉදිරිපත් කරනු ලැබීය. ගල්පාත බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී දුලංජලී ගුණරත්න මෙනෙවියගේ හා කුඩා ව්යාපාර සංවර්ධන නිලධාරී වෙරංගා කුමුදුනී මහත්මියගේ ගීත ගායනයන්ගෙන් වැඩසටහන රසවත් විය.


ප්රධාන ගොඩනැගිල්ලෙන් ශ්රවණාගාරය වෙත පිවිසීම සඳහා සුපුරුදු දොරටුවෙන් ඇතුල් වූව ද වෙනදා සුපුරුදු තරප්පු පෙල එහි නොවීය. තුරුලතා ගැවසුනු ගල්ලෙනකින් එය වැසී ගොසින් ය. ගල්ලෙන ආලෝකවත් කරන පහන් එළි දිගේ ශාලාව වෙත පිවිසියෙමි. වේදිකාව පැරැණි මැටි නිවසක එළිපත්තකි. එහි එක් පසෙකින් වී බිස්සකි. වේදිකා පාමුල ඇති දඬු වැට කෙළවර පහන් පැලකි. පහන් සිළුව සුළං සමඟ රඟ දෙද්දී එළිපත්තේ වාඩි වී සර්පිනා තබ්ලා වයන වාදක මඩුල්ලේ තාලයට වැඩිහිටි ඇත්තෝ රඟ දෙති. ගී ගයති. වේදිකාව ඉදිරියේ පැදුරු මත සිටි පුංචි පැටවුන් තම අත්තම්මාගේ ආතාගේ හපන්කම් බල බල අත්පුඩි තලති. මේ මිල්ලනිය පැදුරු සාජ්ජයයි. ආදරණීය වැඩිහිටියන්ගේ රසවින්දනය උදෙසා මිල්ලනිය ප්රාදේශීය මහ ලේකම් කාර්යාල පියස වර්ණවත් වූ පැදුරු සාජ්ජයයි.
සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් සපයනු ලබන මූල්ය ප්රතිපාදන මත ප්රදේශයේ වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීමටත් ඔවුන්ගේ රසවින්දනය සඳහාත් පැදුරු සාජ්ජයක් පැවැත්වීමට මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සාමාජසේවා අංශය යෝජනාවක් ගෙන ආවේ සමස්ත කාර්යාලයටම අපූරු ප්රබෝධයක් ගෙන එමිනි. එදින පටන්ම කොට්ඨාසයේ වැඩිහිටි කමිටු සාමාජිකයින් එක්රැස් කර ඔවුන්ගේ ගීත පුහුණු කරමින් ද, අනෙක් ගීත සඳහා තමන් පුහුණු වෙමින් ද, පරිශ්රය සහ වේදීකා පසුබිම් නිර්මාණය කරමින් ද මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සූදානම් වූයේ එය තමන්ගේම කලා මංගල්යයක් ලෙස සලකමිනි. වැඩිහිටියන්ගේ තාරුණ්ය රසවත් කළ මනරම් නූර්ති ගීත, නාඩගම් ගීත, වේදිකා නාට්ය ගීත, චිත්රපට ගීත සහ තවත් ගීත රැසක් පැදුරු සාජ්ජය සඳහා තෝරාගෙන තිබූ අතර ඊට සංගීතය සැපයීම සඳහා කළුතර පොලිස් අභ්යාස විද්යාලයේ පෙරදිග තූර්ය වාදන අංශ නිලධාරීන් සතුටින් කැමැත්ත පළ කළහ.
මෙලෙස සංවිධානය වූ පැදුරු සාජ්ජය 2023.12.22 දින සවස් යාමේ කාර්යාලයීය ශ්රවණාගාරයේ දී වේදිකාගත වූයේ ප්රවීණ රංගධර ජනක් ප්රේමලාල් මහතා සහ කළුතර දිස්ත්රික්කයේ අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) සමන්තිකා පී. ලියනගේ මහත්මිය ප්රධානත්වයෙනි. මිල්ලනිය ප්රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මිය ප්රමුඛ ප්රාදේශීය ලේකම්වරු, මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මිය ප්රමුඛ සහකාර ප්රාදේශීය ලේකම්වරු, තවත් මාණ්ඩලික නිලධාරීන්, කොට්ඨාසයේ රාජ්ය ආයතන, පාසල්, පොලිස් ස්ථාන, සිංහ සමාජය, ව්යාපාරික ප්රජාව, වැඩිහිටි බලමණ්ඩලය, වැඩිහිටි කමිටු නියෝජනය කරමින් ආරධිතයින් රැසක් ද කාර්යාලයීය නිලධාරීන් සහ කොට්ඨාසයේ ජනතාව ද මේ රසාලිප්ත සන්ධ්යාවට සම්බන්ධ විය. ෆේස්බුක් සමාජ මාධ්ය හරහා පැදුරු සාජ්ජය සජීවීව නැරඹීමට ද පහසුකම් සපයා තිබුණි.
"මධුර යාමේ සුවඳෙ සාමේ
හිනහ වීලා එන්න රෑ මේ"
ඇත්තට එය මධුර යාමයකි. සිනා පිරි රාත්රියකි. ගී ගායනා මැද වැඩිහිටියන් තම තාරුණ්යයට නිසැකවම පිය මනින්නට ඇත. ඔවුන් මෙන්ම සමස්ත ප්රේක්ෂකාගාරය ද ගී රසින් කුල්මත් වූ බව නොරහසකි. මේ කටයුතු වෙනුවෙන් උපදේශනයෙන්, සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් අත්වැල් බැඳගත් සැමට ගෞරවණීයව ස්තුතිය පුද කරමු!
රැල්ලෙ කිරි වැල්ලේ හාදු දේවී
ජීවනයේ ප්රේම මැණික් පෑදේවී.



















