පාසල් දරුවන් තුළ අනෙක් ආගම් හා ජාතීන් පිළිබඳ ඇති ගෞරවය වර්ධනය කිරීමත්, අනෙක් ජාතීන්ගේ සංස්කෘතික හා ආගමික සිරිත් විරිත් පිළිබඳ දැනුම වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින්, අධිකරණ අමාත්යාංශයේ, ජාතික සමගිය හා ප්රතිසංවිධානය සඳහා වන කාර්යාලයේ ප්රතිපාදන මත, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් සංවිධානය කරන ලද "සංහිඳියාවෙන් නව ලොවක්" කලා හා සංස්කෘතික වැඩසටහන, 2024.08.09 වනදා මිල්ලනිය නිව්චැටල් දෙමළ විද්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි. මිල්ලනිය ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මැතිණියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතීන්ට ආවේණික විවිධ උත්සව, නර්තනාංග, ගීත, ආහාරපාන රසවිඳීමට දරුවන්ට අවස්ථාව හිමි විය. ඒ ඒ ජාතීන්ගේ සැරසිලිවලට අනුව හැඩ ගැන් වූ නිවාස හතරක්, දරුවන් විසින් අපූරුවට නිර්මාණය කර තිබූ අතර, ඒ ඒ ජාතීන්ගේ ඇඳුම් පැළඳුම්වලට අනුව දරුවන් සහ ගුරුවරුන් සැරසී සිටියහ.
ප්රාදේශීය ලේකම්තුමිය, හොරණ අධ්යාපන කලාපයේ දෙමළ මාධ්ය සහකාර අධ්යාපන අධ්යක්ෂ එම්. චන්ද්රමෝහන් මහතා, මදුරාවල මහා විද්යාලයේ විදුහල්පති අනුර පෙරේරා මහතා සහ දික්හේන දෙමළ විද්යාලයේ විදුහල්පතිනි රෙබේකා මලර් මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් විද්යාල පරිශ්රය වෙත පිළිගනු ලැබුවේ, සිංහල සංස්කෘතිය අනුව බුලත් හුරුළු පිලිගන්වමින්, දමිළ සංස්කෘතිය අනුව නළලත පොට්ටු තබමින්, මුස්ලිම් සංස්කෘතිය අනුව සලාතේ නමදිමින් හා බර්ගර් සංස්කෘතිය අනුව අතට අත දෙමිනි.
ඉන් අනතුරුව වැඩසටහනේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්රාර්ථනා කරමින්, ආගම් සිහි කිරීම සිදු විය. එහිදී අම්පිටිගල ශ්රී සුමංගලාරාමාධිපති පූජ්ය හාතියල්වෙල චන්දනන්ද ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ ආගමානුකූලව ද, හොරණ ශාන්ත මාර්ටින් ද ජෝෂප් දේවස්ථානයේ චාල්ස් රජීව් පියතුමන් විසින් ක්රිස්තියානි ආගමානූකූලව ද, කොළඹ අල් මක්කුම් ඉස්ලාමීය දේශක අල්හාලීම් නසාර් මව්ලවීතුමන් ඉස්ලාමීය ආගමානුකූලව ද ආගම සිහි කිරීම සිදු කළ අතර හින්දු චාරිත්ර පාසලේ ආචාරීනී කේ. හර්ෂණී මහත්මිය විසින් සිදු කරනු ලැබීය.
ඉන් අනතුරුව ආරාධිත අමුත්තන්, දරුවන් ද කැටුව එක් එක් ජාතීන්ගේ සංස්කෘතිය අනුව සකස් කළ නිවෙස්වලට ගමන් කළහ. සිංහල නිවසට පැමිණි සියල්ලන්ටම අලුත් අවුරුදු චාරිත්ර ඉටු කිරීමටත්, කිරිබත් හා කැවුම්, කොකිස් ආදී රස කැවිලි රස බැලීමටත් අවස්ථාව උදා විය. දමිළ නිවසේ දී තෛපොංගල් චාරිත්ර ඉටු කිරීමෙන් අනතුරුව සියලු දෙනා වඩේ, තෝසේ, ඉට්ලි ආදී ආහාර රස වින්ඳෝය. ඉන් අනතුරුව මුස්ලිම් නිවසේ දී රටඉඳි, බූන්දි, වටලප්පන් රස වින්ඳේ හජ්ජි උත්සව චාරිත්ර ඉටු කිරීමෙන් පසුවය. අවසන් වශයෙන් බර්ගර් නිවසට පැමිණි සියල්ලෝම නත්තල් සීයා සමඟ නත්තල් සමරමින් කේක්, චොක්ලට්, බිස්කට් රස බැලූහ.
වැඩසටහන තවත් රසවත් කරමින් විවිධ සංස්කෘති පිළිබිඹු කරන නර්තනාංග ද පාසල් දරුවන් ඉදිරිපත් කළහ. වැඩසටහන අවසානයේ දී අම්පිටිගල ශ්රී සුමංගලාරාමාධිපති පූජ්ය හාතියල්වෙල චන්දනන්ද ස්වාමීන් වහන්සේ විසින් පාසලේ පළමු ශේණියේ දරුවන් උදෙසා ත්යාග ලබා දුන් සේක. සොඳුරු සිනහවන්, අලුත් අත්දැකීම්, රසබර ආහාරවලින් පිරුණු මේ දිනය, පාසල් දරුවන්ට අමතක නොවන මතකයක් වනු ඇති බවට නිසැකය. මිල්ලනිය ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ උපදෙස් මත, මෙම වැඩසටහන සංවිධානයට ශක්තිය ලබා දුන් සංවර්ධන නිලධාරී (ජාතික ඒකාබද්ධතා) රිවිනි වාසනා මහත්මිය හා සංවර්ධන නිලධාරී (වැවිලි ප්රජා) ප්රසාදි ජයසූරිය මහත්මිය ප්රමුඛ ක්ෂේත්ර අංශයටත්, නිව්චැට්ල් දෙමිළ විද්යාලයේ විදුහල්පති ආර්. ලෝරන්ස් මහතා ඇතුළු ගුරුභවතුන්, දෙමාපියන් හා දරුවන්ටත්, සහභාගීත්වයෙන් දායක වූ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරී වසන්ත කරුණාරත්න මහතා සහ මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.


රාජ්ය නිලධාරීන්ගේගේ මෘදු කුසලතා හා හැකියාවන් වර්ධනය සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු " වැඩසටහන් මාලාවේ විසිවන දිග හැරුම පෙ.ව. නවයේ කණිසමට 2024.7 10 වන දින පවත්වන්නට යෙදිණි .
ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්ගේ වැඩිමනත් නියෝජනයෙන් හා මාණ්ඩලික නිලධාරීන් වන සහකාර ප්රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර අධ්යක්ෂ (සැලසුම්) තුමන්ගේ සහභාගිත්වයෙන්
ගරු ප්රදේශිය ලේකම්තුමිය තනා දුන් ඒ ප්රශස්ත වේදිකාවේ ,
වැඩසටහන් පුර්වක ලෙස විදේශ රැකියා සංවර්ධන නිලධාරී මිහිරි මදුකා පතිරගේ මහත්මියත් ,
ව්යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් නව ව්යවසායකයන් නඟා සිටුවීම හා අභිප්රේරණය පිළිබඳව දීර්ඝ දේශනයක් හා බොරලැස්ස ආර්ථික සංවර්ධන නිලධාරී දුලීකා ලක්මාලි මහත්මිය විසින් එම වසම හා එහි සාමාජික ආර්ථික පසුබිමත්, ස්වභාවික පිහිටීම පිළිබඳවත් දේශනයක් ඉදිරිපත් කරන ලදහ.
සහකාර අධ්යක්ෂ (සැලසුම්) පුෂ්පකුමාර එල්ලාවල මහතා විසින් ව්යාපෘති ක්රියාත්මක කරන ආකාරයත් ඊට අදාළ කොන්දේසි හා අදාළ වැය ශිර්ෂයන් පිළිබඳවත් ,විශේෂ දේශනයක් අපි අපිම වෙමු වැඩසටහන වෙත එකතු කරන ලදි
එදින රසාලිප්ත ගීත කිහිපයක් ගායනා කිරීමෙන් , ආර්ථික සංවර්ධන නිලධාරී දුලංජි මෙනවිය,කිත්සිරි කළුබෝවිල මහතා,හා එරන්දි මහත්මියත් සිය දායකත්වය ලබා දුන්හ.
වැඩසටහනේ සමස්ථ සමාලෝචන ඇගයීම් වෙනුවෙන් මොනිකා සඳමාලි හා හර්ෂනී මදුමතී යන ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මීන් විසින් අදහස් දක්වන ලදහ.



වර්ණවත් ලෝකය මැද ඇතමෙකු අඳුර පතද්දී, ලොවම අඳුරු ඔවුහු වර්ණවත් ලෝකයක් මවති. දෑස් පෙනෙනා ඇතමෙකු අකුරු මග හැර යද්දී, දෑස් නොපෙනෙන ඔවුහු ඇඟිලිතුඩගින් අකුරු සොයති.
තිත් රටා ඉරි අතර ඇඟිලිතුඩු ඇස් අරින, දෑස් නොපෙනන පුංචි දරුපැටවුන්ගේ අධ්යාපන කටයුතු ඔප් නැංවීමට පිටුවහලක් වීම වෙනුවෙන්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන "දෙනෙතට සවියක්" ව්යාපෘතියේ සමාරම්භය, 2024.01.10 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී සාර්ථකව දියත් කරනු ලැබුවේ සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙනි.
ප්රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මිය ඇතුළු සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ සහ ගණකාධිකාරි කසුරි ගයන්තිකා මහත්මියගේ උපදෙස් මත, පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් සංවිධානය කරනු ලබන මෙම ව්යාපෘතියේ දී, දෑස් නොපෙනෙන දරුවන්ගේ අධ්යාපන කටයුතුවල දී බ්රෙල් ක්රමය සඳහා අවැසි පොත් අවශ්යතා වෙනුවෙන්, ප්රදේශයේ නිවාසවලින් භාවිතයෙන් ඉවත් කරනු ලබන CR පොත් එකතු කර පරිත්යාග කිරීමට නියමිතය. එහි සමාරම්භය ලෙස මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් එකතු කරන ලද CR පොත් මේ වැඩසටහන වෙනුවෙන් සහකාර ප්රාදේශීය ලේකම්තුමිය වෙත භාර දීම මෙම වැඩසටහනේ දී සිදු විය. මෙම ව්යාපෘතිය සඳහා ප්රදේශයේ පාසල් සම්බන්ධ කර ගැනීම ආර්ථික සංවර්ධන නිලධාරීන් මහත්ම මහත්මීන් හරහා ඉදිරියේ දී සිදු වනු ඇත.
දෑස් නොපෙනෙන පුංචි දරුපැටවුන්ගේ දෙනෙතට සවියක් වන්නට පරිත්යාගශීලී ඔබත් කැමති නම් ඔබ නිවසේ භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන CR පොත් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අප වෙත ගෙනවිත් භාර දෙන මෙන් කාරුණිකව ආරාධනා කරන්නෙමු!



කලුගංතොට මිටියාවතේ රජුන් තනන සොඳුරු තෝතැන්න, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කරමින්, මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් ධූරය හෙබ වූ එරංගි ප්රනාන්දු මැතිනිය, 2024.04.02 දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් ධූරයට පත් වූ වගයි.
කලුතර බාලිකා විද්යාලයේ අධ්යාපනය හදාරා, කැලණි විශ්වවිද්යාලයේ උපාධිධාරීනියක් බවට පත් වූ ඇය, 2012 වර්ෂයේ ශ්රී ලංකා පරිපාලන සේවයට එක් වී විදුලිබල අමාත්යාංශයේ සහකාර ලේකම් ධුරය, වලල්ලාවිට සහකාර ප්රාදේශීය ලේකම් ධුරය, රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ දීප ව්යාප්ත සේවා අංශයේ සහකාර අධ්යක්ෂ ධුරය, විශ්රාම අංශයේ සහකාර ලේකම් ධුරය, ගණකාධිකරණ සේවා අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ධුරය, ශ්රී ලංකා පරිපාලන සේවා අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ධුරය හොබවමින් පරිපාලන ක්ෂෙත්රයේ දැනුමින් හා අත්දැකීමෙන් පෝෂණය විය. එම අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ධුරය හොබවමින් සිටින අතරතුර ජපන් ජාත්යන්තර විශ්වවිද්යාලයේ උසස් අධ්යාපන කටයුතු සඳහා යොමු වූ ඇය, එම කටයුතු සාර්ථක ව අවසන් කර, නැවත ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු 2023.07.31 දින මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් ධුරයට පත් විය.
එතැන් පටන් ප්රාදේශීය ලේකම්වරුන්ට ශක්තියක් වෙමින්, තම ප්රාරම්භක නුවණ මෙහෙයවා කාර්යාලය තුළින් කාර්යක්ෂම හා සඵලදායී මෙහෙවරක් ජනතාව වෙත ලබා දීමට කැපවූ ඇය, අපි අපිම වෙමු, පැඳුර, MILART 2024 වැනි නවමු සංකල්පීය ව්යාපෘති නිර්මාණය කරමින්, පරිවර්තන නායකත්වයක් විදහා දැක්විය.
2024.04.02 වන දින ඇය මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් ධූරයට සමුදෙමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙහිම නව ප්රාදේශීය ලේකම් ධූරයට පත් වන්නේ, තම වෘත්තීය ජීවිතයෙහි නවමු පිටුවක් පෙරලමිනි. මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, ලබුගම සිරි ධම්මරක්ඛිතාරාම විහාරාධිපති, ශාස්ත්රපති මොල්ලිගොඩ අරියරතන ස්වාමීන් වහන්සේගේ සහ ගරු ලේඛකාධිකාරි, අරකාගොඩ ලංකාතිලක විහාරාධිපති, ගෞරව ශාස්ත්රවේදී කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේගේ පිරිත් දේශනාවන් මධ්යයේ, නව තනතුරෙහි වැඩ බාරගත් ඇයට ශක්තියක් වෙමින් ඇයගේ දෙමව්පියන්, සැමියා, පුතනුවන්, බේරුවල ප්රාදේශිය ලේකම් රංජන් පී. පෙරේරා මැතිතුමා, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන් සහ එතුමිය සමඟ පෙර රාජකාරී ස්ථානවල සේවය කළ නිලධාරීන් රැසක් එම අවස්ථාවට සම්බන්ධ වූහ.
එරංගී මැතිනියනි සුබ පතමි ආදරෙන්!
අංකුරක් විලසකින් මිහිමතම ඉපදී
ගුණ නුවණ වඩවමින් අව් වැසි ද හුරුවී
අද මහා රුකක් ලෙස තුරු අතර රජවී
ලියන් අභිසෙස් කෙරූ ඇය පිනැති ලියකී
සඳ කිඳුරු වත කමල මලක රූ වරුණ
සිනාවද තෙපුල් බස තේජසින් දිලුන
කුමරියක විලසකින් ලත් දැනුම පිරුන
සිහසුනක වැඩ හිඳින නුඹයි අද රැජිණ
දන කදුළුවැල් සලති සොයා පිළිසරණ
ඔවුන් දුක් නිවාලන දම් බුදුන් දෙසන
ඒ මෙහෙය දිවිය කර නුඹ පෙරුම් පුරන
සදා ජයටැඹ දිනනු දරා ප්රාලේ ඔටුන
අපේ ආදරණීය පොඩි මැඩම්ගේ ප්රාදේශීය ලේකම් සම්ප්රාප්තිය වෙනුවෙන් 2024.04.02 දින සුබපැතුම් එක්කරමු මිල්ලනිය අපි ආදරෙන්!




ප්රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ග්රාම නිලධාරීන්ගේ, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්ගේ කථික, නිවේදක, ඉදිරිපත් වීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන "අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ හත්වන දිගහැරුම 2024.01.03 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
බටගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී කේ. මොනිකා මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනෙහි දී විදේශ සේවා සංවර්ධන නිලධාරී ටී. චම්පිකා මිය විසින් තම විෂය පථය පිළිබඳවත්, දෙල්ගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී කුමුදුනී දීපිකා මහත්මිය විසින් දෙල්ගොඩ ග්රාම නිලධාරී වසම පිළිබඳවත් දේශනයන් ඉදිරිපත් කරනු ලැබීය. ගල්පාත බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී දුලංජලී ගුණරත්න මෙනෙවියගේ හා කුඩා ව්යාපාර සංවර්ධන නිලධාරී වෙරංගා කුමුදුනී මහත්මියගේ ගීත ගායනයන්ගෙන් වැඩසටහන රසවත් විය.
















