මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා, නව ව්යවසායකයින් බිහි කිරීම අරමුණු කර ගනිමින් ස්වයං රැකියා අවස්ථා පිළිබඳ ප්රජාව දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම සඳහා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද තවත් එක් වැඩසටහනක් 2023.10.27 වන දින කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදී.
විසිතුරු අත්බෑග් නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම උදෙසා සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ IDB පුහුණු උපදේශිකා දිලානි මේනකා මහත්මිය විසිනි. කර්මාන්ත අමාත්යාංශය යටතේ වන ජාතික ව්යවසායකත්ව අධිකාරියේ මූල්ය ප්රතිපාදන මත ව්යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි දී විසිතුරු බෑග් නිෂ්පාදය පිළිබඳ සියලුම පියවරන් ප්රායෝගික අත්දැකීමට හා සිදු කිරීමට ප්රජාවට අවස්ථාව හිමි විය.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දැක් වූ සැමට ස්තූතිවන්ත වෙමු.


උත්සවයේ අරාධිතයින් ලෙස ශ්රී සුචරිත වර්ධනාරාමාධිපති ගරු පූජ්ය දාපනේ ධර්මා සුමනපාල මෙහෙණින් වහන්සේ, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මිය, ජ්යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී නෙලූපානි කළුබෝවිල මෙනෙවිය, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ජ්යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී දුෂ්මන්ත ධර්මසිරි මහතා, කලුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ජ්යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී මංගල අශෝක මහතා, කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී යසකුමාර කහවල මහතා සහ හොරණ වාසනා බේකර්ස් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී රංජන් ප්රේමලාල් මහතා සහභාගී විය.
කොට්ඨාසයේ ග්රාමීය වැඩිහිටි කමිටු 44හි සාමාජිකයයින්ගේ විශේෂාංග රැසකින් සමන්විත වූ මේ හෝරා කිහිපය සාම්ප්රදායික නර්තනාංග, නිර්මාණාත්මක නර්තනාංග, ගීත ගායන, විරිඳු ගායන ආදී අංග රැසකින් සමන්විත වූහ. ඒ විශේෂාංග අතර 2023 ජාත්යන්තර වාඩිහිටි දිනයට සමගාමීව බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජ්යෙෂ්ඨ පුරවැසි තරඟාවලිය සඳහා මිල්ලනිය වැඩිහිටි බලමණ්ඩලය නියෝජනය කරමින් සමූහ ගායනා අංශයේ ප්රථමස්ථානය දිනා ගත් සමූහ ගීත ගායනය ද, ඒකල ගායනා අංශයේ ප්රථමස්ථානය දිනාගත් පරගස්තොට ග්රාමීය වැඩිහිටි කමිටුවේ චන්ද්රා මුණසිංහ මහත්මියගේ ගායනය ද, තුන්වන ස්ථානය දිනාගත් බංකු රබන් වාදනයත ද ඇතුළත් විය. එසේම එම ජයග්රාහකයන් සඳහා තිලිණ සහ සහතිකපත් ප්රදානය කිරීම ද සිදු කෙරුණි.
උත්සවයේ උදෑසන තේපැන් සංග්රහය සඳහා පුන්සිරිපුර හා කෙලෙස්ගමුව ග්රාමීය වැඩිහිටි කමිටු අනුග්රහය දැක් වූ අතර, දහවල් ආහාරය සඳහා හොරණ වාසනා බේකර්ස් ආයතනය අනුග්රහය දක්වන ලදී. එසේම විශේෂාංග ඉදිරිපත් කළ සියලු වැඩිහිටියන් සඳහා තිලිණ ප්රදානය වෙනුවෙන් පූර්ණ අනුග්රහය දක්වනු ලැබුවේ ද හොරණ වාසනා බේකර්ස් ආයතනයයි.
කොට්ඨාසයේ කලාකාමී වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන් අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ගෞරවණීය ස්තූතිය පුද කරමු.
ආදරණීය වැඩිහිටියනි, ආයු බොහෝ වේවා! නිදුක් නිරෝගී වේවා! කලාකාමී සිත් සතුටින් පිරි ඉතිරේවා!



රටේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ නව ආදායම් මාර්ග අරමුණු කර ගනිමින් බොහෝ දෙනෙකු ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු වෙමින් පවතී. නමුත් නිසි දැනුම්වත්භාවයකින් හෝ පුහුණුවකින් තොරව එවන් රැකියා අවස්ථා සඳහා යොමු වීමට වඩා, දැනුම හා පුහුණුව සහිතව ස්වයං රැකියා සඳහා යොමු වීම, ගැටළු සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අවම කරනු ඇත. මේ නිසා වෙළඳපොළ අවශ්යතා හඳුනා ගනිමින්, උචිත ස්වයං රැකියා අවස්ථා පිළිබඳ ප්රජාව දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ රාජ්ය ආයතන මේ වන විට විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පවතී.
අවශ්යතාවක් මෙන්ම විලාසිතාවක් ලෙස ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පාවහන් කර්මාන්තය සඳහා ප්රජාව දිරිගන්වමින්, ව්යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023.10.23 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. කර්මාන්ත අමාත්යාංශය යටතේ වන ජාතික ව්යවසායකත්ව අධිකාරියේ මූල්ය ප්රතිපාදන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ I.B.M. පුහුණු උපදේශිකා දිලානි මේනකා මහත්මිය විසිනි. කොට්ඨාසයේ මේ වන විටත් පාවහන් නිෂ්පාදන කර්මාන්තයට යොමු වී ඇති සහ යොමු වීමට අපේක්ෂා කරන ප්රජාව වෙනුවෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 80කට අධික පිරිසක් සහභාගී වූ අතර අමුද්රව්ය හා අච්චු සපයා ගැනීමේ සිට ප්රමිතියෙන් යුතු පාවහන් නිෂ්පාදය කර වෙළඳපොළට යොමු කිරීම දක්වා වූ සමස්ත නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ ප්රායෝගිකව ඔවුන් පුහුණු කිරීම සිදු කෙරුණි.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දැක් වූ සැමට ස්තූතිවන්ත වෙමු.


එහි තවත් එක් ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක විකල්ප ආහාර භාවිතය දිරිගැන්වීම සඳහා දේශීය අල භෝග වගා ප්රචලිත කිරීමේ ව්යාපෘතියට අදාළ ඉලක්කගත ප්රගති සමාලෝචනය සහ ඇගයීමේ වැඩසටහන් මේ වන විට දිවයින පුරා ක්රියාත්මක වෙමින් පවතී. එහි මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ වැඩසටහන කෘෂිකර්ම අමාත්යාංශයේ, කළුතර දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ හා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් 2023.09.13 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථකව පවත්වනු ලැබුවේ ප්රාදේශීය ලේකම් සමන්තිකා පී. ලියනගේ මහත්මියගේ උපදෙස් මත සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මිය, කෘෂිකර්ම උපදේශක සම්පත් මයා, ප්රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී මේනකා අමරසිංහ මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහත්ම මහත්මීන් සහ වගාකරුවන්ගේ සහභාගීත්වයෙනි.
එහිදී මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට ලබා දී තිබූ අක්කර 11ක ඉලක්කගත වගා වපසරිය සඳහා මඤ්ඤොක්කා, කිරි අල, වැල් අල, බතල අල ආදී අල භෝග වගා කර දායකත්වය ලබා දුන් ගොවි බිම් ඇගයීම තුළින් තෝරාගත් වගාකරුවන් 32ක් දිරිගැන්වීම සඳහා රු.452,500.00ක මූල්ය ප්රතිලාභ ඔවුන් අතර ප්රදානය කිරීම සිදු විය. වගා කළ වගා වපසරි අනුව (අවමය පර්චස් 20 සිට උපරිමය පර්චස් 80 දක්වා) වගාකරුවෙකුට රු. 5,000.00 ත් - රු. 20,000.00 ත් අතර මුදලක් ප්රදානය කෙරුණි. මෙම වැඩසටහනට සමගාමීව තවදුරටත් වගා පුළුල් කිරිම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ වගාකරුවන් දැනුම්වත් කිරීම ද සිදු කරන ලදී.

















