ප්රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ග්රාම නිලධාරීන්ගේ, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්ගේ කථික, නිවේදක, ඉදිරිපත් වීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන "අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ සිව්වන දිගහැරුම 2023.11.01 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථක පවත්වන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරී ඉෂානී මධුසංකා මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනෙහි දී පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් "තිරසර හුස්ම" යන ප්රස්තුථය යටතේ ජීවය සඳහා වාතයේ ඇති වැදගත්කම පිළිබඳවත්, වෙනිවැල්පිටිය ආර්ථික සංවර්ධන නිලධාරී වජිරා දමයන්ති මහත්මිය විසින් වෙනිවැල්පිටිය ග්රාම නිලධාරී වසම පිළිබඳවත් දේශනයන් ඉදිරිපත් කරනු ලැබීය.ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මියගේ ගීත ගායනයෙන් වැඩසටහන රසවත් විය.


ප්රාදේශීය ලේකම් කාර්යාල මඟින් සැපයෙන ප්රමුඛ සේවාවක් වන රජයේ ඉඩම් සම්බන්ධ සේවාවන්, ජනතාවගේ පහසුව පිණිස, ඔවුන් සමීපයට ගොස් සැපයීම සඳහා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන "ගමින් ගමට ඔබේ ළඟට ඉඩම් ජංගම සේවය" වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 647/A දොඹගොඩ ග්රාම නිලධාරී වසමේ ජනතාව වෙනුවෙන් 2023.10.31 වන දින බටගොඩ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනි.
මිල්ලනිය ප්රාදේශීය ලේකම් (වැ.බ.) සමන්තිකා පී. ලියනගේ මහත්මියගේ උපදෙස් මත, සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම ජංගම සේවා වැඩසටහන සඳහා ඉඩම් අංශයේ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර රජයේ ඉඩම් සඳහා බලපත්ර, දීමනාපත්ර සැකසීම, මුල් අයිතිය ලබා ගැනීම, පසු අයිතිය නම් කිරීම, මායිම් ගැටළු නිරාකරණය, අනවසරකරුවන් හඳුනා ගැනීම, ආරවුල් විසඳීම ආදී සේවා සැපයීමේ කටයුතු මෙහිදී සිදු කරන ලදී.
මෙම කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සඳහා 647/A දොඹගොඩ ග්රාම නිලධාරී වසමේ ග්රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් දැක්වූ සහයෝගයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.


ඉ-ග්රාම නිලධාරී (e-GN) ව්යාපෘතියට සමගාමීව සැමට ජාතික හැඳුනුම්පත් ලබා දීම අරමුණු කර ගනිමින් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංවිධානය කරනු ලබන හැඳුනුම්පත් ජංගම සේවා මාලාවේ සයවන වැඩසටහන 2023.10.31 වන දින බටගොඩ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී.
649 බටගොඩ, 647/A දොඹගොඩ, 647/B මුල්කඩකන්ද හා 647/C අධිකාරිගොඩ යන ග්රාම නිලධාරී වසම්වල ජනතාව වෙනුවෙන් පැවැත් වූ මෙම වැඩසටහනෙහි දී, හැඳුනුම්පත් සැකසීමට අදාළ සියලු කාර්යාල සේවාවන් හා ඊට අදාළ අනිකුත් සේවා වන ඡායාරූප ලබා ගැනීම, උප්පැන්න සහතික ලබා ගැනීම, පොලිස් වාර්තා පිටපත් ලබා ගැනීම, දිව්රුම් ප්රකාශ ලබා ගැනීම, සාම විනිසුරුවරුන්ගේ සේවා ලබා ගැනීම සහ මුද්දර හා ලියුම් කවර ලබා ගැනීම ආදි සියලු සේවාවන් ද එම ස්ථානයෙන් ම සපුරා ගැනීම සඳහා ජනතාව වෙත සියලු පහසුකම් සපයා දෙනු ලැබීය.
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීමට හා පැවැත්වීමට සහයෝගය දැක් වූ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, මිල්ලනිය ප්රාදේශීය ලේකම්තුමිය(වැ.බ.), සහකාර ප්රාදේශීය ලේකම්තුමිය, පරිපාලන ග්රාම නිලධාරීතුමන්, ප්රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශයේ හා රෙජිස්ට්රාර් අංශයේ නිලධාරීන්, ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධරීන්, සාම විනිසුරුවරුන් හා අඟුරුවාතොට පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරී මහත්ම මහත්මීන්ටත්, ඉඳුවර ස්ටූඩියෝ ආයතනයේ මහත්ම මහත්මීන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.



අතීතයේ පටන් මී පැණි ඉතා රසවත් හා පෝෂණීය ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙස ද ලොව පුරා ප්රචලිතව පවතී. ජනගහනය වැඩිවත්ම මී පැණි සඳහා ද ඇති වූ ඉල්ලුම ඉහල යෑම හේතුවෙන්, එය සපුරාලීම සඳහා ස්වාභාවික පරිසරය තුළින් සොයා ගනු ලබන මී පැණි ප්රමාණවත් නොවීමත්, එසේ සොයා ගැනීම අපහසු වීමත් නිසා මී මැසි පෙට්ටි තුළ මී මැසි ජනපද ප්රායෝගිකව පාලනය කිරීම කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ කර්මාන්තයක් ලෙස ලොව පුරා වර්ධනය වන්නට විය.
මී මැසි පාලනය මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රජාව තුළ ස්වයං රැකියාවක් ලෙස ප්රචලිත කර, ඒ සඳහා අවැසි තාක්ෂණික දැනුම ලබා දීම අරමුණු කර ගනිමින් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය, මිල්ලනිය කෘෂිකර්ම උපදේශන කාර්යාලය හා මිල්ලනිය සිංහ සමාජය එක්ව සංවිධානය කරන ලද "විශේෂ බිඟු සංවර්ධන වැඩසටහන" 2023.10.31 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදී. නියෝජ්ය පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ නිලක්ෂි රණතුංග මහත්මිය හා මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී බිඳුණුවැව මී මැසි සංවර්ධන ඒකකයේ සහකාර අධ්යක්ෂ විමුක්ති ගුරුගමගේ මහතා, දිස්ත්රික් කෘෂිකර්ම උපදේශක සුභාෂ් ජයනෙත්ති මහතා සහ මී මැසි විෂය සම්බන්ධ නිලධාරී සුභාෂ් ගොඩැල්ලවත්ත මහතා විසින් මී මැසි පාලනයේ විවිධ පැතිකඩ පිළිබඳ දීර්ඝව පැහැදිලි කරන ලදී. මී මැසි පෙට්ටි නිර්මාණය, මී මැසි පෙට්ටි ස්ථාපනය, මී මැස්සන් ආකර්ෂණය, මී මැසි පෙට්ටි නඩත්තුව පිළිබඳ මෙන්ම මී පැණි, මී ඉටි නිෂ්පාදනය හා වෙළඳපොල වෙත පිවිසීම ආදී කරුණු ඒ අතර විය.
මී මැසි පාලනයේ නිරත වන සහ නිරත වීමට අපේක්ෂා කරන ගොවි මහත්ම මහත්මීන් හා මෙම දැනුම ප්රජාව වෙත සම්ප්රේෂණය කළ හැකි කාර්යාලයේ ක්ෂේත්ර නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන අවසානයේ දී සිංහ සමාජයේ මූල්ය අනුග්රහයෙන් මී මැස්සන් ආකර්ෂණය කර ගැනීම සඳහා උචිත ශාක වර්ගවල පැල නොමිලේ බෙදා දීමක් ද සිදු කරන ලදී.සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහයෝගය දැක්වූ සැමට ස්තුතිවන්ත වෙමු.

















