අතීතයේ පටන් මී පැණි ඉතා රසවත් හා පෝෂණීය ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙස ද ලොව පුරා ප්රචලිතව පවතී. ජනගහනය වැඩිවත්ම මී පැණි සඳහා ද ඇති වූ ඉල්ලුම ඉහල යෑම හේතුවෙන්, එය සපුරාලීම සඳහා ස්වාභාවික පරිසරය තුළින් සොයා ගනු ලබන මී පැණි ප්රමාණවත් නොවීමත්, එසේ සොයා ගැනීම අපහසු වීමත් නිසා මී මැසි පෙට්ටි තුළ මී මැසි ජනපද ප්රායෝගිකව පාලනය කිරීම කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ කර්මාන්තයක් ලෙස ලොව පුරා වර්ධනය වන්නට විය.
මී මැසි පාලනය මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රජාව තුළ ස්වයං රැකියාවක් ලෙස ප්රචලිත කර, ඒ සඳහා අවැසි තාක්ෂණික දැනුම ලබා දීම අරමුණු කර ගනිමින් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය, මිල්ලනිය කෘෂිකර්ම උපදේශන කාර්යාලය හා මිල්ලනිය සිංහ සමාජය එක්ව සංවිධානය කරන ලද "විශේෂ බිඟු සංවර්ධන වැඩසටහන" 2023.10.31 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදී. නියෝජ්ය පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ නිලක්ෂි රණතුංග මහත්මිය හා මිල්ලනිය සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී බිඳුණුවැව මී මැසි සංවර්ධන ඒකකයේ සහකාර අධ්යක්ෂ විමුක්ති ගුරුගමගේ මහතා, දිස්ත්රික් කෘෂිකර්ම උපදේශක සුභාෂ් ජයනෙත්ති මහතා සහ මී මැසි විෂය සම්බන්ධ නිලධාරී සුභාෂ් ගොඩැල්ලවත්ත මහතා විසින් මී මැසි පාලනයේ විවිධ පැතිකඩ පිළිබඳ දීර්ඝව පැහැදිලි කරන ලදී. මී මැසි පෙට්ටි නිර්මාණය, මී මැසි පෙට්ටි ස්ථාපනය, මී මැස්සන් ආකර්ෂණය, මී මැසි පෙට්ටි නඩත්තුව පිළිබඳ මෙන්ම මී පැණි, මී ඉටි නිෂ්පාදනය හා වෙළඳපොල වෙත පිවිසීම ආදී කරුණු ඒ අතර විය.
මී මැසි පාලනයේ නිරත වන සහ නිරත වීමට අපේක්ෂා කරන ගොවි මහත්ම මහත්මීන් හා මෙම දැනුම ප්රජාව වෙත සම්ප්රේෂණය කළ හැකි කාර්යාලයේ ක්ෂේත්ර නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන අවසානයේ දී සිංහ සමාජයේ මූල්ය අනුග්රහයෙන් මී මැස්සන් ආකර්ෂණය කර ගැනීම සඳහා උචිත ශාක වර්ගවල පැල නොමිලේ බෙදා දීමක් ද සිදු කරන ලදී.සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහයෝගය දැක්වූ සැමට ස්තුතිවන්ත වෙමු.


ඉ-ග්රාම නිලධාරී (e-GN) ව්යාපෘතියට සමගාමීව සැමට ජාතික හැඳුනුම්පත් ලබා දීම අරමුණු කර ගනිමින් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංවිධානය කරනු ලබන හැඳුනුම්පත් ජංගම සේවා මාලාවේ සයවන වැඩසටහන 2023.10.31 වන දින බටගොඩ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී.
649 බටගොඩ, 647/A දොඹගොඩ, 647/B මුල්කඩකන්ද හා 647/C අධිකාරිගොඩ යන ග්රාම නිලධාරී වසම්වල ජනතාව වෙනුවෙන් පැවැත් වූ මෙම වැඩසටහනෙහි දී, හැඳුනුම්පත් සැකසීමට අදාළ සියලු කාර්යාල සේවාවන් හා ඊට අදාළ අනිකුත් සේවා වන ඡායාරූප ලබා ගැනීම, උප්පැන්න සහතික ලබා ගැනීම, පොලිස් වාර්තා පිටපත් ලබා ගැනීම, දිව්රුම් ප්රකාශ ලබා ගැනීම, සාම විනිසුරුවරුන්ගේ සේවා ලබා ගැනීම සහ මුද්දර හා ලියුම් කවර ලබා ගැනීම ආදි සියලු සේවාවන් ද එම ස්ථානයෙන් ම සපුරා ගැනීම සඳහා ජනතාව වෙත සියලු පහසුකම් සපයා දෙනු ලැබීය.
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීමට හා පැවැත්වීමට සහයෝගය දැක් වූ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, මිල්ලනිය ප්රාදේශීය ලේකම්තුමිය(වැ.බ.), සහකාර ප්රාදේශීය ලේකම්තුමිය, පරිපාලන ග්රාම නිලධාරීතුමන්, ප්රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශයේ හා රෙජිස්ට්රාර් අංශයේ නිලධාරීන්, ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධරීන්, සාම විනිසුරුවරුන් හා අඟුරුවාතොට පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරී මහත්ම මහත්මීන්ටත්, ඉඳුවර ස්ටූඩියෝ ආයතනයේ මහත්ම මහත්මීන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.



සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ජාතික සාහිත්ය කලා මහෝත්සවයට සමගාමීව, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන මිල්ලනිය ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවය, 2023.10.25 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මිල්ලනිය ප්රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ අනුග්රහයෙන් මෙවර උත්සවයේ පොල්තෙල් පහන හා වේදිකාව විශේෂයෙන් හැඩගැන්වූයේ ගොක්කොල නිර්මාණ භාවිතා කරමිනි. උත්සවයේ විශේෂ අවස්ථාවන් ලෙස කලා ක්ෂෙත්රයේ ප්රවීණ කලාකරුවන් 05 දෙනෙකු වෙත රයිගම් කෝරළාභීමානී සම්මානය පිරිනැමීමත්, ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ලද කලාකරුවන් ඇගයීමට ලක් කිරීමත්, ප්රාදේශීය සාහිත්ය තරඟ ජයග්රාහකයන්හට ත්යාග හා සහතිකපත්ර ප්රදානය කිරීමත්, කොට්ඨාසයේ ප්රවීණ කලාකරුවෙකු මෙන්ම කාර්යාලයේ පරිපාලන ග්රාම නිලධාරීතුමන් වන එන්. කේ. ගුණසේන මහතාගේ "හද විල මල්" ගීතය දොරට වැඩුමත්, මධ්යම පරිසර අධිකාරිය මගින් නිර්දේශිත යොනාල් බෝජිත ලේඛකයානන්ගේ "වත්ත පහල සුමිතුරෝ" කෘතිය පිළිගැන්වීත් සිදු විය. උත්සවය වර්ණවත් කරමින් නර්තනාංග ඉදිරිපත් කරනු ලැබුවේ පරගස්තොට නයනසංඛ, හල්තොට සව්සත් හා ලබුගම සිත්රූ යන කලායතන ත්රිත්වයේ නර්තන ශිල්පීන් සහ චාතූර්යා එදිරිසිංහ, විනුකි රිතාරා, චමික නිමේෂ් යන දරුදැරියන් විසිනි. එසේම කාර්යාලයේ නිලධාරීන් වන කාන්ති පතිරගේ මහත්මිය හා ලලිත් කුමාර මහතා විසින් නාට්යමය විරිඳු ගායනයක් ද ඉදිරිපත් කළහ.
උත්සවයේ ප්රධාන ආරාධිත දේශනය ධීවර අමාත්යාංශ අධ්යක්ෂ (සංවර්ධන) කපිල ජනක බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී. එසේම මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කල්ලන්චියේ පියරතන ස්වාමීන් වසන්සේ, මිල්ලනිය ප්රාදේශීය ලේකම්(වැ.බ.) සමන්තිකා පී. ලියනගේ මහත්මිය ඇතුළු සහකාර ප්රාදේශීය ලේකම්තුමිය හා ගණකාධිකාරිතුමිය, මිල්ලනිය ප්රාදේශීය සභාවේ ලේකම්තුමන්, මිල්ලනිය දේවරක්ෂිත විද්යාලයේ විදුහල්පතිතුමන් හා පරගස්තොට විද්යාලයේ විදුහල්පතිතුමන් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.




රටේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ නව ආදායම් මාර්ග අරමුණු කර ගනිමින් බොහෝ දෙනෙකු ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු වෙමින් පවතී. නමුත් නිසි දැනුම්වත්භාවයකින් හෝ පුහුණුවකින් තොරව එවන් රැකියා අවස්ථා සඳහා යොමු වීමට වඩා, දැනුම හා පුහුණුව සහිතව ස්වයං රැකියා සඳහා යොමු වීම, ගැටළු සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අවම කරනු ඇත. මේ නිසා වෙළඳපොළ අවශ්යතා හඳුනා ගනිමින්, උචිත ස්වයං රැකියා අවස්ථා පිළිබඳ ප්රජාව දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ රාජ්ය ආයතන මේ වන විට විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පවතී.
අවශ්යතාවක් මෙන්ම විලාසිතාවක් ලෙස ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පාවහන් කර්මාන්තය සඳහා ප්රජාව දිරිගන්වමින්, ව්යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023.10.23 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. කර්මාන්ත අමාත්යාංශය යටතේ වන ජාතික ව්යවසායකත්ව අධිකාරියේ මූල්ය ප්රතිපාදන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ I.B.M. පුහුණු උපදේශිකා දිලානි මේනකා මහත්මිය විසිනි. කොට්ඨාසයේ මේ වන විටත් පාවහන් නිෂ්පාදන කර්මාන්තයට යොමු වී ඇති සහ යොමු වීමට අපේක්ෂා කරන ප්රජාව වෙනුවෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 80කට අධික පිරිසක් සහභාගී වූ අතර අමුද්රව්ය හා අච්චු සපයා ගැනීමේ සිට ප්රමිතියෙන් යුතු පාවහන් නිෂ්පාදය කර වෙළඳපොළට යොමු කිරීම දක්වා වූ සමස්ත නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ ප්රායෝගිකව ඔවුන් පුහුණු කිරීම සිදු කෙරුණි.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දැක් වූ සැමට ස්තූතිවන්ත වෙමු.

















